Sunday, June 5, 2011

යුද්දෙන් පසු ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කළ වැඩ ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි - ස්වාමිනාදන්

ජුනි.05- යුද ජයග්‍රහණයෙන් පසු උතුරේ නැවත පදිංචි කිරිම, නිවාස තනාදීම, සහන සැපයීම ඇතුළුව රජය ජනතාව වෙනුවෙන් කළ වැඩ කටයුතු සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.
යුද්දෙන් පසු ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කළ වැඩ ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි - ස්වාමිනාදන්ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරේ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ රජය බව පුන පුනා පැවසුවත් මෙතෙක් ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවය.

යුද බිමේ ජීවත් වූ ජනතාවගේ මනස ගොඩනගා ඔවුන්ට නිසි අනාගතයක් උදා කරදීම රජයේ මෙන්ම දේශපාලඥයින් සියලුදෙනාගේ වගකීම බවද ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

ඔවුන්ගේ සිතුවිලි හඳුනාගෙන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු වුවත් වර්තමානයේ රජය එය කොපමණ ප්‍රමාණයකින් ඉටු කරනවාද යන්න පිළිබඳව ගැටලු රැසක් ඇති බවද ඔහු පෙන්වා දෙන්නේය.

ස්වාමිනාදන් මහතා පවසන්නේ උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම සඳහා වසර 50ක් පුරා වරින් වර බලයට පත් වූ ආණ්ඩු විවිධ  ගිවිසුම් ඇති කර ගත්තත් සියලු ජනකොටස්වලට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බවය.

සිරිමා - ශාස්ත්‍රී, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම් ඊට නිදසුන් ලෙස ඔහු දක්වා තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසු උදා වූ මෙම යුගය, දේශපාලන විසඳුමක් සඳහා හොදම අවස්ථාව බවත් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සෑම ජන කොටසකටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමට රජය නායකත්වය ගතයුතු කාලය එළඹ ඇති බවත් ස්වාමිනාදන් මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

No comments: