Tuesday, June 14, 2011

සහල් පරිභෝජනය වැළැක්වීමේ කුමන්ත්‍රණයක්

ජුනි.14- සහල් පරිභෝජනය ප්‍රචලිතවීමත් සමග එය කඩාකප්පල් කිරීම සදහා යම් යම් කණ්ඩායම් උත්සාහයක නිරත වන බව ඊයේ පැවති ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ අමාත්‍ය අනුකාරක කමිටු රැස්වීමේදී හෙළි වී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය.

සහල්වල ආසනික් ඇද්දැයි කළ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිබදව එම අමාත්‍ය අනුකාරක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සහල් නියැදි 60ක් ගෙන කළ පරික්ෂණයකදී කිසිදු නියැදියක ආසනික් අඩංගු නොවු බවට තහවුරු වී ඇතැයි වී පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කළ බවයි.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එහිදී පළිබෝධනාශක 28 ක් සම්බන්ධයෙන් කළ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිබදව දැනුවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම පරික්ෂණ ප්‍රතිඵල පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් බවයි.

මේ අතර ලෝක මුල්‍ය අර්බුදය හමුවේ කිරිපිටි, සීනි, පරිප්පු, ලොකු ළුණු සහ තිරිගුපිටි වැනි ආනයනික ද්‍රව්‍ය තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

No comments: