Tuesday, April 19, 2011

නව නායක ඩිල්ෂාන්ගේ ක්‍රිකට් දිවියෙන් බිඳක්

අප්‍රේ.18- 1976 ඔක්තෝම්බර් 14 වෙනි දින කළුතරදී මෙළොව එළිය දුටු තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන් කළුතර මහා විද්‍යාලයේදි ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීය.
කුඩා කළ සිටම දක්ෂ තරග විලාසයක් පෙන්වූ ඩිල්ෂාන් කළුතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ ක්‍රිකට් පිටියට පිවිසියේ 1996 වසරේදීය.

පසුව ඩිල්ෂාන් එස්.එස්.සී, සෙබස්තිනයිට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් නියෝජනය කළේය.

ක්‍රිකට් පිටිය තුළ තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ඩිල්ෂාන් 1999 නොවැම්බර් 18වෙනි දින මෙරට 79වැනි ටෙස්ට් ක්‍රීඩකයා වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

දකුණත් පිතිකරුවෙකු වන ඩිල්ෂාන් මේ වනවිට ටෙස්ට් තරග 66ක් ක්‍රීඩා කර ලකුණු 3990ක් රැස් කරගෙන සිටී.

ටෙස්ට් අර්ධ ශතක 16ක් හා එක්දින අර්ධ ශතක 11ක් ලබාගෙන සිටින ඔහු ඉණිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 168කි.

දකුණත් පිට දඟ පන්දුයවන්නෙක් වන ඩිල්ෂාන් මේ වනවිට ටෙස්ට් කඩුලු 19ක් බිඳ හෙළා ඇති අතර ලකුණු 10කට කඩුලු 4ක් බිඳ හෙළීම ඔහුගේ ‍හොදම පන්දු යැවීම ලෙස වාර්තා වේ.

1999 දෙසැම්බර් 11වැනි දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී එක්දින වරම් දිනා ගැනීමට ඩිල්ෂාන් සමත් විය.

එක්දින තරග 203ක් ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන් මේ වනවිට ලකුණු 5456ක් ලබා සිටී.

එක්දින අර්ධ ශතක 22ක් සහ ශතක 10ක් ලබා සිටින ඔහු ඉණිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 160 කි.

එක්දින පිටියේදි පෙරළිකාර පන්දුයවන්නෙක් වන ඩිල්ෂාන් මේ වනවිට කඩුලු 62ක් ලබා සිටී.

ලකුණු 4කට කඩුලු 4ක් ලබා ගැනීම ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස හැදින්විය හැකිය.

ඩිල්ෂාන් මීට පෙර එක්දින ජාත්‍යන්තර තරග 5කදී ශ්‍රී ලංකාවට නායකත්වය සැපයූ අතර එයින් තරග 3ක ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් විය.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවන ඩිල්ෂාන් වර්තාමනය වනවිට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කරනු ලැබේ.

පසුගිය අප්‍රේල් 02 වැනිදා නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද ඩිල්ෂාන් පත්විය.

එහිදී තරග 9ක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 500 ක් ලබාගත් අතර කඩුලු 8ක් ද ලබා ගැනීමට සමත් විය.

No comments: